තොරතුරු ද්වාරය

ධාවනයේදී වැදගත් වන කරුණු

වාහනයක් මහා මාර්ගයේ ධාවන කිරීම ආරම්භ කිරීමට පෙර සම්පූර්ණ වියයුතු කරුණු

 

★ රියදුරු ශාරීරිකව හා මානසිකව මනා සෞඛ්‍ය තත්වයෙන් සිටිය යුතුය

★ රියදුරා විසින් කිසිදු මත්ද්‍රව්‍යයක් හෝ වෙනයම් මානසිකව හෝ කායිකව බලපෑම් කලහැකි ඖෂධ ලබා නොගෙන සිටිය යුතුය

★ රියදුරා හට විඩාබර, නිදිමත හෝ වෙනත් ශාරීරික අපහසුතාවයක් ඇත් නම් ධාවනය නොකල යුතුය.

★ වාහනය ධාවනයට සුදුසු මනා ක්‍රියාකාරීත්වයකින් තිබිය යුතුය. තිරිංග, ටයර, නලාව, ප්‍රධාන ලාම්පු සහ සංඥා ලාම්පු නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි රියදුරා විසින් බැලිය යුතුය.

★ රියදුරා අත වාහන පන්තිය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය

★ වාහනය සඳහා වලංගු රක්ෂණ සහතිකයක්, ආදායම් බලපත්‍රයක්, වායු විමෝචන සහතිකයක්(දුම් සහතිකයක්) තිබිය යුතුය

★ වාහනයේ ආසනපටි තිබිය යුතු අතර ඒවා පැලඳගැනීම අනිවාර්ය වේ.

සාමාන්‍ය වේග සීමා.
මෙම සීමා අවශ්‍යතාවය මත වෙනස් විය හැකිය. ඒ බැව් මාර්ග සංඥා මගින් සෑම විටම දන්වා සිටියි. මාර්ග සංඥා නොමැති අවස්තාවලදී මෙම සාමාන්‍ය නීති භාවිත කළ යුතුය.

වාහන වර්ගය නාගරික ප්‍රදේශ නාගරික නොවන ප්‍රදේශ
මෝටර් රථ, ද්විත්ව කාර්ය රථ, මෝටර් සයිකල්
පැ.කි.මී. 50
පැ.කි.මී. 70
ලොරි රථ, බස් රථ
පැ.කි.මී. 50
පැ.කි.මී. 70
ත්‍රීරෝද රථ, කෘෂිකාර්මික, ඉඩම් වාහන
පැ.කි.මී. 40
පැ.කි.මී. 40
අධිවේගී මාර්ගවල
අනුමත සියලුම වාහන
පැ.කි.මී. 100
වැසි සහිත හෝ මාර්ගය තෙත්වී ඇති විට
පැ.කි.මී. 60

වටරවුම් නීතිය.

ආලෝක සංඥා හෝ පොලිස් පාලනයක් නොමැති වටරවුම් සීමාව තුලට පලමුව ඇතුලුවන වාහනය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. නමුත් මාර්ග එකකට වැඩි සංඛ්‍යාවකින් එකවර වාහන වටරවුම් සීමාව අසල පැමිණි විට සෑම විටම දකුණු පසින් ඇති මාර්ගයේ වාහනයට ප්‍රමුඛතාවය හිමිවේ. වම් පසින් ඇති මාර්ගයේ වාහන දකුණු පස වාහනය සඳහා නැවතී ඉඩ ලබා දිය යුතුය. වටරවුමක් ආසන්න වන විට පළමුව ඇතුලු වීම සඳහා වේගය වැඩි කර පැමිණීම හෝ වෙනත් වාහන ඉස්සර කරමින් පැමිණීම නොකල යුතුය.

 

මාර්ගයේ පසෙක වාහන නැවැත්වීම.

★ මංසන්ධි, පදික මාරු, බස් නැවතුම් ඇතුලු ‘වාහන නැවැත්වීමේ සීමා’ කොටසේ සඳහන් ස්ථාන වල වාහන නැවැත්වීම තහනම් වේ.

★ මාර්ගයේ සීමාව කහ පැහැති රේඛාවෙන් සලකුණු කොට ඇත් නම් එම ස්ථාන වලද වාහන නැවැත්වීම තහනම්ය.

★ එමෙන්ම අධිවේගී ධාවන මාර්ග, කඳු මුදුන්, වංගු, පදික වේදිකා මත, අතුරු මාර්ග මංසන්ධි හෝ ගේට්ටු ඉදිරිපිට වාහන නැවැත්වීම තහනම්ය.

★ මාර්ගයේ ධාවන දිශාවටම මාර්ගයේ වම් පසින් නැවැත්වීම කලයුතුය.

★ රාත්‍රී කාලයෙ නැවතුම් ලාම්පු දල්වා තබන්න

★ මාර්ගයේ දකුණු පසින් ඉදිරියට එන වාහන වලට මුහුණලා නැවැත්වීමෙන් වලකින්න

★ විශේෂයෙන්ම රාත්‍රියේ ප්‍රදාන ලාම්පු දල්වා දකුණු පසින් සිටීමෙන් ඉදිරියට එන රියදුරන් හට බාදා වන අතර රිය අනතුරු සිදුවීමේ හැකියාව අධිකය

ඉදිරිපස වාහනය පසුකර යාම.

★ පළමුව ඉදිරිපස වාහනයට ඉදිරියෙන් පසු කිරීම සඳහා මාර්ගය පැහැදිලි දැයි බලන්න

★ දෙවනුව කණ්නාඩියෙන් පසුපස වාහන වලින් බාදාවක් නැතිදැයි පරීක්ෂා කරන්න

★ ඉහත කරුණු සම්පූර්ණ වේ නම් දකුණට සංඥා දමා ඉදිරිපස වාහනය පසුකර කඩිනමින් ධාවනය කරන්න(වේග සීමා වලට අනුකූලව)

★ පසුකල වාහනයට බදා නොවන සේ ආරක්ෂිත දුරක් ගමන් කොට නැවත නිවැරදි මංතීරුවට වාහනය ගෙන එන්න. මෙහිදී වම් පසට සංඥා එලි දැල්වීම අවශ්‍ය නම් කලහැකිය.

★ ඉදිරිපස පැහැදිලි නැති (වංගු, කඳු වැනි) ප්‍රදේශ වලදී කිසිසේත්ම පසු කර යාමෙන් වලකින්න

★ ඉදිරි වාහනය දකුණට සංඥා එලි දැල්වූ අවස්ථාවක එය පසු කර යාමෙන් වලකින්න

★ පසු පසින් එන වාහනයක් ඔබව පසු කිරීමට උත්සාහ කරන්නේ නම් එයට ඉඩ ලබා දෙන්න

පසුපසට පැදවීම.

★පසුපස පැහැදිලි නොමැති විට පසු පසට පැදවීමෙන් වැලකීමට උත්සාහ කරන්න

★ ප්‍රධාන මාර්ගයකට පසුපසට පැදවීම නීත්‍යානිකූල නැත. සෑම විටම ප්‍රධාන මාර්ගයක සිට අතුරු මාර්ගයකට පසුපසට පැදවීම කලයුතුය

★ ප්‍රධාන මාර්ගයේ අයින අසලින් එයට සමාන්තරව වාහනය නවතා අතුරු මාර්ගයේ අවම දුරින් පසුපසට ගැනීම නිවැරදි ක්‍රමයයි

හදිසි අනතුරක් සිදුවූ විට.

★ අනතුරක් වූ විට මාර්ගයේ අනෙක් වාහන වලට බාදා වන සේ මාර්ගයේ මැද නවතා නොතැබිය යුතුය

★ අනතුරට සම්බන්ධ වාහන වල රෝද ඇති ස්ථාන සලකුණු කර වහාම මාර්ගයේ පසෙකට ගන්න

★ තුවාල කරුවන් සිටීනම් රෝද සලකුණු කොට ඔවුන්ව රෝහලට රැගෙන යාම කලහැකිය

★ අන්තුරක් වූ විට ඔබගේ නම, ලිපිනය ඇතුලු විස්තර වගකිව යුතු නිලධාරියෙකුට හෝ ලඟම පොලිස් ස්ථානයට ලබදිය යුතුය. නොවැලැක්විය හැකි අනතුරු දඬුව්ම් ලැබිය හැකි වරදක් සේ නොසලකන අතර ඔබගේ සහයෝගයෙන් අනතුරෙන් වුනු හානි අවම කරගත හැකිවේ

★ වාහනයේ අනතුරු ලාම්පු දල්වීම මෙවන් අවස්ථාවක කල හැකිය

★ රක්ෂණ සමාගම දැනුවත් කිරීම මෙම අවස්තාවේ කල හැකිය. ඔවුන් බොහෝ විට අනතුරු තක්සේරුකරුවකු එම ස්ථානයට එවනු ලබයි

අධිවේගී මාර්ගවල ධාවනය

අධිවේගී මාර්ගවල වේග සීමා අනුමත සියලුම වාහන පැ.කි.මී. 100වැසි සහිත හෝ මාර්ගය තෙත්වී ඇති විටපැ.කි.මී. 60

 

★ ශ්‍රී ලංකාවේ බොහෝ අධිවේගී මාර්ග ධාවන තීරු දෙකකින් පමණක් සමන්විත වේ.

★ මෙහිදී සෑම විටම වම් පස මං තීරුවේ ධාවනය කිරීම නියමිත රීතිය වේ.

★ මාර්ගයේ වේග සීමා උල්ලංගනය නොකරන්න, නවීන කැමරා මගින් වේගයන් පරීක්ෂා කරණු ලබයි.

★ ඉදිරිපස වාහනය පසු කිරීමට අවශ්‍යවිට දකුණු මං තීරුවට ගෙන, එය පසු කර ගොස් නැවතත් වම් මං තීරුවට ගෙන ඒම සුදුසු වේ. මෙහිදී දකුණු පස සංඥා එලි දැල්වීම වඩා නිවැරදි ක්‍රමය වේ.

★ පසු පසින් වෙනත් වාහනයක් ඔබව පසු කිරීමට උත්සාහ කරන්නේ නම් ඔබ සෑම විටම එයට ඉඩ දිය යුතුය.

★ පසු කිරීමේදී පැ.කි.මී. 100 සීමාව පසු කිරීම නීත්‍යානුකූල නොවේ.

★ පසුපස වාහනයක් ඔබව පසු කිරීමට උත්සාහ කිරීමේදී එයට බාදා වනසේ ගමන් කිරීම නීත්‍යානුකූල නොවේ. මෙය අධිවේගී මාර්ගයේදී ඉතාමත් අනතුරුදායක වන අතර, අනතුරුදායක ධාවනය යටතේ දඩ මුදල් හෝ නීතිය හමුවට පැමිණවීමේ හැකියාව ඇත.

අධිවේගී මාර්ගයට ඇතුලු වීම

★ ශ්‍රී ලංකාවේ සියලුම අධිවේගී මාර්ග වල මුදල් අය කරනු ලබයි. සෑම විටම මුදල් ඇති පමණ ඇත් දැයි බලන්න. ඇතුලුවීමේදී ඇතැම් මාර්ග වල ටිකට් ලබා ගත යුතු අතර පිට වීමේදී මුදල් ගෙවිය යුතුය.

★ මාර්ගයේ පසෙක කිසිසේත්ම නැවැත්වීම තහනම් වන නිසා විඩාබර හෝ නිදිමත අවස්තාවල ඇතුලු නොවන්න.

★ මාර්ගයට වන අනතුරු සහ හානි සඳහා වන්දි මුදල් ගෙවීමට ඔබට සිදුවන අතර අනතුරු දායක හෝ නියමිත අයුරින් ක්‍රියාත්මක නොවන වාහන ඇතුලු නොකරන්න. වාහන අනතුරකදී ඇදගෙන යාමේ වාහන මුදල් ගෙවා ලබා ගත යුතුවේ.

★ ටයර වල හුලං හා අමතර ටයර ඇත්දැයි පරීක්ෂා කරන්න.

නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය

නිකුත් කිරීම්

★ පලමු ක්‍රමය: පහත සඳහන් කාර්යාල වලදී ඔන්ලයින් (Online) ක්‍රමයට බලපත්‍රය ලබා ගත හැකිය.

  1. වේරහැර ප්‍රධාන කර්යාලය
  2. කුරුණෑගල දිස්ත්‍රික් කර්යාලය
  3. කලුතර දිස්ත්‍රික් කර්යාලය
  4. හම්බන්‍‍තොට දිස්ත්‍රික් කර්යාලය
  5. ගම්පහ දිස්ත්‍රික් කර්යාලය
  6. අනුරාධපුර දිස්ත්‍රික් කර්යාලය
  7. යාපනය දිස්ත්‍රික් කර්යාලය
  8. මොණරාගල දිස්ත්‍රික් කර්යාලය

★ දෙවන ක්‍රමය: අනෙකුත් සියලුම දිස්ත්‍රික් කාර් යාල වලදී ඕෆ්ලයින් (Offline) ක්‍රමයට බලපත්‍රය ලබා ගත හැකිය.

සියලුම නිකුත්කිරීම් සඳහා වන අවශ්‍යතා

★ අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.

★ ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.

★ ඔන්ලයින් ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ. ඕෆ්ලයින් ක්‍රමය භාවිතා වන කාර්යාල

★ සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලාපැහැ පසුබිමක් සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.

★ ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.

සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

★ බලපත්‍රය ලබා ගැනීම සඳහා වයස් සීමාව අවුරුදු 17 කි.

★ වයස සම්පූර් ණ වන්නේ නම් ලිඛිත පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් විය යුතුය

★ ලිඛිත පරීක්‍ෂණය සමත්වූ පසු උපරිමව මාස 18ක් දක්වා පුහුණුවන්නන්ගේ බලපත්‍රයක් නිකුත් කරනු ලබන අතර මෙම බලපත්‍රය පුහුණු වීම සදහා යොදාගත හැකිය

★ ප්‍රායෝගික පරීක්‍ෂණය (ඩ්‍රයිවින්) සඳහා ඉදිරිපත් වීමේ වයස් සීමාව අවුරුදු 18 කි. එසේම පුහුණුවන්නන්ගේ බලපත්‍රය ලබා මාස තුනක්වත් ගතවිය යුතුය.

★ ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් වී සමත් විය යුතුය.

★ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස හයක් ඇතුලත ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් තිබිය යුතුය. 

ආදායම් බලපත්‍රය ලබා ගැනීම

නිකුත් කිරීම්

ආදායම් බලපත්‍රය ඉදිරියට එක් වසරක් සඳහා නිකුත් කරනු ලබන අතර සියලුම වාහන සඳහා මෙම බලපත්‍රය සෑම වසරකදීම ලබාගත යුතුය​.

බස්නාහිර පළාතේ වාහන සඳහා පලමුවන ආදායම් බලපත්‍රය සාමාන්‍යයෙන් පළා‍ත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල‍‍‍‍ය මඟින් නිකුත් කරනු ලබයි. දෙවන බලපත්‍රයේ සිට අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාල‍‍‍‍ය බලපත්‍ර අලුත් කරගත හැකිය​.
ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීම සදහා අවශ්‍ය ලේඛන

  1. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හෝ අදාල මූල්‍ය ආයතනයක් (උදා. ලීසිං කොම්පැනි / Leasing) මගින් සහතික කරන ලද වාහනය ලියාපදිංචි කිරීමේ ලේඛනයේ පිටපතක්
  2. පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය
  3. ඉදිරි වසර සඳහා වලංගු රක්ෂණ සහතිකය
  4. වෙළද වාහනයක් නම් ඒ සඳහා අදාල යෝග්‍යතා සහතික
  5. බස්රථ හෝ මගී ප්‍රවාහන වාහන සදහා අවශ්‍ය​ මගී සේවා අවසර පත්‍රය
  6. වායු පරීක්ෂණ සහතික (Echo Test) (හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා අදාල නොවේ)

අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම
ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය​. ඒ සඳහා ඔබට සුදුසුකම් ඇත්දැයි පහත ලින්ක් එකට ගොස් පරීක්ෂා කරන්න​. ඔබට මෙම සේවාව මගින් මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ත්‍රිරෝද රථ ආදායම් බලපත්‍ර ලබා කරගත හැක. අනෙකුත් වාහන පිලිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න​.
අන්තර්ජාල සේවාව සඳහා ඔබට පිලිගත් රක්ෂණ ආයතනයක් මගින් නිකුත් කරන ලද වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක්(හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා අදාල නොවේ) අවශ්‍ය වේ. වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

මාර්ග නීති කඩකිරීම් සඳහා දඩ නිකුත් කිරීම

පහත සඳහන් මාර්ග වැරදි වලට දඩ ගැසීමේ හැකියාව පවතී.

  • ධාවනය කරන විට රියදුරු බලපත්‍රය රැගෙන යාමට අපොහොසත් වීම
  • වේග සීමා විධිවිධාන වලට අනුකූලව ධාවනය නොකිරීම
  • මාර්ග නීති වලට අවනත නොවීම
  • ආසන පටි භාවිතා නොකිරීම
  • ආදායම් බලපත්‍රය ප්‍රදර්ශණය නොකිරීම හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කිරීමට නොහැකි වීම
  • විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා නොගැනීම
  • හඳුනා හැනීමේ තහඩු නොමැති වීම​.
  • ධාවනය කරනවිට ආරක්‍ෂක හිස්වැසුම් යනාදිය පැලඳ නොසිටීම
  • ආදායම් බලපත්‍රයේ විධිවිධාණ උල්ලංගනය කරමින් භාවිතා කිරීම
  • වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්තාවලදී නුසුදුසු සංඟා භාවිතා කිරීම
  • දුම්රිය හරස්මාර්ගයේ රතු ආලෝකය දැල්වුනු විට එය හරහා ගමන් කිරීම
  • දුම් අධික ලෙස විමෝචනය කිරීම
  • මෝටර් වාහනයක් මාර්ගය පසුපසට දිගු දුරක් ධාවනය කිරීම
  • මෝටර් වාහන්‍යකින් අධික ශබ්දයක් නිකුත් කිරීම
  • පොලිස් නිලධාරීන් ආදීන්ගේ විධාන සහ සංඟාවලට අවනත නොවීම
  • මාර්ග සංඟාවලට අවනත නොවීම
  • මාර්ගයක මෝටර් වාහන නැවැත්වීම හෝ ගාල් කර තැබීම
  • හදිසි සේවා හෝ පොදු සේවා වාහනයක් පැදවීමේදී නිසි අනුමතයක් නොතිබීම
  • බලපත්‍රයක් නොමැතිව විශේෂ කාර්ය වාහනයක් පැදවීම
  • රසායනික ද්‍රව්‍ය​, උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආදිය පැටවූ වාහනයක් පැදවීම සඳහා නිසි අනුමැතියක් ලබා ගැනීමට අපොහොසත් වීම
  • නිශ්චිත පන්තියකට අයත් වාහනයක් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා හැනීමට අපොහොසත් වීම
  • උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතු වල නිරත වීම
  • මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිවනසේ ධාවනය කිරීම
  • අනතුරු හැඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිතා කිරීම
  • මෝටර් වාහන පාපුවරුව යනාදියේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩදීම
  • මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවා සිටීම
  • ධාවනය කරමින් පවතින මෝටර් වාහනයක සිට දැන්වීම් ආදිය බෙදා හැරීම
  • ටැංකියල ඉන්ධන දැමීමේදී ගත යුතු පූර්ව ආරක්‍ෂණ ක්‍රියාමාර්ග නොගැනීම
  • මාර්ගයක මෝටර් වාහන නවතා තැබීමේදී හෝ එය අසල නොසිටීමේදී හෝ අක්‍රීය වීමකදී ගතයුතු පූර්ව ආරක්‍ෂණ ක්‍රියාමාර්ග නොගැනීම
  • මෝටර් වාහන වල පෞද්ගලික ගමන් බඩු හැර ගෙනයාහැකි අනුමත තැනැත්තන් ප්‍රමාණය ඉක්මවීම හෝ පෞද්ගලික ගමන් බඩු හැර ගෙනයා හැකි අනුමත බඩු ප්‍රමාණය ඉක්මවීම
    බස් රථ වල පෞද්ගලික ගමන් බඩු හැර ගෙනයාහැකි අනුමත තැනැත්තන් ප්‍රමාණය හෝ ගෙනයා හැකි අනුමත බඩු ප්‍රමාණය ඉක්මවීම
  • උපරිම බර හෝ ඇක්සල් බර ඉක්මවා ලොරි රථ වල, මෝටර් ට්‍රයිසිකල් වල හෝ වෑන් රථ වල භාණ්ඩ ගෙනයාම
  • ලොරි රථයක ගෙනයා හැකි අනුමත තැනැත්තන් ප්‍රමාණය ඉක්මවා ගෙනයාම
  • නියමයන් උල්ලංගනය කිරීම
Scroll to top